Surathali

Surathali

සුරතලී

Black & White 35mm

Film No: 37  ·  Released: 19 Sep 1956

59.41% · 2,404 votes
Rate this film
Special Message

එච්. ආර්. ජෝතිපාලයන්ගේ කුළුඳුල් චිත්‍රපට පසුබිම් ගැයුම / රාජ් කපූර් අධ්‍යක්ෂණය කළ BARSAAT චිත්‍රපටයේ කතාව ඇසුරෙන්

Summary

NameSurathali / සුරතලී
Film No37
Released Date19 Sep 1956
ColorimeterBlack & White
Video Format35mm
Movie GroupSinhala
CategoryDrama
CompanyCeylon Entertainment
StudioStudio Wahini - Madras
Main Actor: Ravindra Rupasena Main Actress: Leena De Silva Director: Cyril P. Abeyratne Producer: Jaber A.Kadar

Description

ග්‍රැමෆෝන් ගී තැටි – හිස් මාස්ටර් වොයිස් තැටි අංක ඩබ්ලිව්. එන්. 581 සිට 586 දක්වා

ප්‍රදර්ශනය - සීමාසහිත සිලෝන් එන්ටර්ටේන්මන්ට් සමාගම.

මංගල දර්ශනය – 1956 සැප්තැම්බර් 12 කොල්ලුපිටියේ ලිබර්ටි සිනමා ශාලාවේදී එවකට අග්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා සහ එම මැතිනියගේ ප්‍රධානත්වයෙන් සහ රඟපෑ සියළුම නළු නිළියන්ගේ සහභාගිත්වයෙන්.

විශේෂ – පසුව ජනප්‍රියම චිත්‍රපට පසුබිම් ගායකයකු වූ එච්. ආර්. ජෝතිපාලයන්ගේ කුළුඳුල් චිත්‍රපට පසුබිම් ගැයුම.

සුදත් හා සුසිල් ගජ මිතුරන් දෙදෙනෙකි. එහෙත් ඔවුන්ගේ ගති ගුණ අහසට පොළොව මෙන් දුරස්ථය. සුදත් සාමාන්‍ය පවුලක චාම්, සරල ජීවිතයක් ගත කරන අහිංසක ගති පැවතුම් ඇති තරුණයෙකි. සංගීතයට කැමති ඔහු මැන්ඩලීනය වාදනය කරමින් තනිවම සතුටක් ලබයි.

ධනවත් තරුණයකු වූ සුසිල් විනෝදකාමියෙකි. සල්ලාල ගති ගුණ ඇත්තෙකි. දක්ෂ චිත්‍ර ශිල්පියෙකු වූ ඔහුගේ ඇතැම් ගති ගුණ සුදත් අනුමත නොකළ ද ඔවුන්ගේ මිතුදමට එයින් බාධාවක් නොවීය.

නුවරඑළියේ සුසිල්ගේ වත්තක නිවාඩුවක් ගත කිරීම සඳහා සුදත්ට ඇරැයුම් ලැබෙයි. සුදත් නුවරඑළියට ගියේ සුසිල්ගේ මොරිස් මයිනර් කාර් එකෙනි. ඔවුහු අතරමඟදී දිය ඇල්ලක දිය නාමින් ගී ගයමින් සිටින තරුණියන් පිරිසක් දකිති.

කෙළිලොල් ගති ඇති සුසිල් බිමට බැස්සේය. තරුණියන් අතර සිටි මානෙල් විසින් වෙනත් පැත්තකට වීසි කරන ලද මඩ පහරක් සුසිල්ට වැදීම නිසා මහත් අකරතැබ්බකට මුහුණ දුන්නේය. මේ තරුණිය පිළිබඳ අදහසක් ඇති වූ සුසිල් ඇය හා ආදර සබඳතාවක් ඇති කර ගැනීමට සිතා ඇය ලවාම තමාගේ ඇඟේ වූ මඩ පැල්ලම මකා දැමීමට මාර්ගයක් උදාකර ගත්තේය. තරුණිය එනම් - මානෙල් මේ සිද්ධිය නිසා සුසිල් කෙරෙහි ආදරයක් ඇති කර ගත්තාය.

යළිත් ඉක්මනින් හමුවන පොරොන්දුව පිට සුසිල් මානෙල්ගෙන් සමුගත්තේය. සුදත් සමඟ තම වත්තට ගිය සුසිල්ගේ පරම අදිටන වූයේ මානෙල්ගේ පහස ලබා සතුටුවීමටය. මිතුරන් දෙදෙන බංගලාවට යන විට එහි මෙහෙකාර පොඩියන් සියලු පහසුකම් සලසා තිබුණි. තම මිතුරු සුසිල්ට වූ ඇබැද්දිය ගීතයට නැඟූ සුදත් මැන්ඩලීනය ගෙන එය වයමින් ගීතයක් ගැයුවේය.

‘පිටිසරෙහි අගේ සිරි නරඹමි​ෙන්

ගිය ගමනක විසිතුරු කියමි මෙසේ

මම ගයමි මෙසේ

දිය කෙළින ලෙසේ පිරිවැරුණ තොසේ

කෙල්ලන් දැක ධනපති කොල්ලෙකුගේ

සිතු උමතු වුණේ

මරු විකල වූවෙකු ලෙස කෝපයෙනේ

වැදි මුහුණ පුරා මඩ පහරයෙනේ

මැත දොඩමින පැන ගිය නමුදු අනේ

සිනහවට ඇගේ ඔහු වසඟ වුණේ

නාදලු වැනි මේ තොල් රතට රතේ

නිල්මිණි පරදයි නෙත් සඟළ ඇගේ

සිහිනිඟ රිය සක වැනි උකුළ ළැමේ

රණ තිසරු ගෙනෙයි පෙම් ලොවක සැපේ

(ගායනය - ධර්මදාස වල්පොල)

සුදත් හා සුසිල් මේ දැකුම්කළු පරිසරයේ සතුටින් කාලය ගත කරති. සුසිල්ගේ වතුයායේ හුදෙකලාවේ සැරිසැරූ සුදත්ට දිනක් සේපාලිකා මල් නෙළමින් සිටින සුරූපී තරුණියක් හමුවෙයි. ඇයගේ නියම නමට වඩා ගම්මානයේ ප්‍රකටව සිටියේ “සුරතළි” නමිනි. සුසිල්ගේ බංගලාවේ උඩු මහලේ රාත්‍රියේ හුදකලාවේ සුදත් මැන්ඩලීනය වයමින් ගී ගයන විට ඒවා රසවිඳීමට සුරතලී සෑදී පැහැදී සිටියාය. මේ පරිසරය ඔස්සේ සුදත් හා සුරතලී අතර ප්‍රේමයක් ඇතිවිණ.

සුදත්ගේ පරම පවිත්‍ර පැතුම වූයේ සුරතලිය විවාහ කර ගෙන සැපවත් ජිවිතයක් ගත කිරීමටය. නගරයේ තරුණියන් ඇසුරු කරන සුසිල්ගේ අදිටන වූයේ පිටිසරින් හමු වූ මානෙල්ගෙන් අයුතු ප්‍රයෝජන ලබා විනෝදවීමටය. තරුණ මිතුරන්ගේ මේ පෙම් හබ පෙම්වතියන්ගේ මාපියන්ට ආරංචි විය. සුසිල්ට මෙයින් යම් සහනයක් ලැබුණේ මානෙල්ගේ පියාට ඔහු රැකියාවක් ලබා දුන් නිසාය. එබැවින් ඔහුගෙන් සුසිල්ට බාධාවක් නොවීය.

දිනක් රාත්‍රියේ සුසිල්ගේ අභිප්‍රාය ඉටු කරමින් මානෙල් ඔහු අතින් අනාථ වූවාය. මෙය වැළක්වීමට සුදත් ගත් උත්සාහයෙන් පළක් නොවීය. මේ නිසා සුදත් තම මිතුරා පිළිකුල් කළේය.

එක්තරා පුන් පොහොදාක මහ රෑ සිය නවාතැනින් උඩුමහලට වී බුදුගුණ ගීතයක් සුදත් ගයනු සුරතලී අසා සිටියාය.

සාධූ ශ්‍රී මේ ලෝ හී පතුරා

මේ පූර්ණ පොහොදා රාජනීය අහසේ නැගෙනා

සාධු ශ්‍රී

ශ්‍රද්ධාලෝකය හැම තැන විහිදා සාධු ජනා පුබුදා

තිලෝගුරු ස්වාමිගෙ ත්‍රෛ මංගල ශ්‍රී

ලෝ සතහට දුන් දිනය සිහි වේ නෑර අදා”

(පසුබිම් ගායනය - ධර්මදාස වල්පොළ)

බුදුගුණ ගීතයක් ගයන සුදත් හදිසියේම දුටුවේ සිය පෙම්වතිය (සුරතලී) මහ රෑ කෙසෙල් ගසක් යටට වී තමා විසින් ගයන බුදුගුණ ගීතය අසා සිටින බවය. සුදත් හනික කළේ තම පෙම්වතිය හැකි ඉක්මනින් ගෙදර බලා යැවීමය. එතැනට පැමිණි සුරතලීගේ පියා සමඟ ඒදණ්ඩ උඩ දී කළ සටනක ප්‍රතිඵලය වූයේ සුදත්ට සති කිහිපයක් කොළඹ රෝහල් ගතවීමය.

සිය පෙම්වතා නැතිව ළතැවී සිටි සුරතලී ඔහු සොයා මහ මඟට බැස්සාය. කොළඹ පැමිණි ඇය ගණිකා මඩමක නවාතැන් ගන්නේ තම පෙම්වතා සොයා දෙන පොරොන්දුවක් දුන් ස්ත්‍රියකගේ මුසාබසට හසුවීමෙනි. සුරතලී මේ කිසිවක් නොදැන සිටියාය. මේ ගණිකා මඩමට නිතර යන එන සුසිල් තම මිතුරු සුදත්ගේ පෙම්වතිය බව දැන දැනම ඇයට අතවර කිරීමට සූදානම් වන විට සුරතලීගේ පහරකින් ලේ සහිතව ඔහු බිම ඇද වැටෙයි.

සුදත් නැඟී සිටීමට පෙර එතැනින් පැන යන සුරතලීට ශබ්ද විකාශන යන්ත්‍රයකින් තම පෙම්වතා වූ සුදත් ගීතයක් ගයනවා ඇසෙයි. ඇය ඔහු සොයා දුෂ්කර ගමනක් යයි. සුදත් හමු වී සියලු පුවත් පවසන්නීය.

ස්ථානෝචිත ප්‍රඥාවෙන් කටයුතු කරන සුදත් සුසිල් සොයා ගොස් කරුණු පහදාදෙයි. ඉන් පසු සුසිල් සමග මානෙල් සොයා ගොස් ඔවුන් විවාහ කර දීමට කටයුතු කරති. සුදත් හා සුරතලිය විවාහ වන්නේ ඉන් පසුවය. හතර දෙනාම සුසිල්ගේ මොරිස් මයිනර් රථයෙන් ගීතයක් ගයමින් සතුටින් ගමන් ගනිති.

‘පුදුමයකි ලෝකෙ මැවුණා වූ ප්‍රේමේ

ගයමු අමා පෙම් ගීතා විනෝදේ

ස්ථිර ආලේ පෑ මා හදේ

සිරියාවි මා ඔබේ සැමදා වෙමි ප්‍රියේ

සැප සදනා ප්‍රේමේ ඔබ වේය මාගේ

දෙව් ලෝ සැපා නැතේ පෙම් ලෝ විනා මෙසේ”

(පසුබිම් ගායනය - ධර්මදාස වල්පොල, ජී.එස්.බී. රාණි, ස්වර්ණා අබේරත්න, එච්.ආර්.ජෝතිපාල)

Film No: 37 - Year: 1956

Cast

Crew

Other Crew