Bertram Fernando

Bertram Fernando

බර්ට්‍රම් ප්‍රනාන්දු

Full Name: Emanuel Anthony Bertram Fernando Born 10 April 1921 Died 15 November 1986

10 April 1921 - 15 November 1986

58.62% · 1,734 votes
Rate this artist

Summary

NameBertram Fernando
Sinhala Nameබර්ට්‍රම් ප්‍රනාන්දු
Full NameEmanuel Anthony Bertram Fernando
Born10 April 1921
Died15 November 1986

Biography

1949 වසරේ තිරගත වූ 'පෙරළෙන ඉරණම' චිත්‍රපටයේ විකට චරිතයක් රඟපාමින් බර්ට්‍රම් ප්‍රනාන්දු ගැයූ මේ ගීතය සිනමා ලෝලීන්ගේ පමණක් නොව ග්‍රැමෆෝන් තැටිවලින් ද රස විඳ ඇති බව අපේ වැඩිහිටි පරපුර කියන කතාවලින් මොනවට පැහැදිලි වේ. බර්ට්‍රම් ප්‍රනාන්දු නම් චිත්‍රපට නළුවා අපේ ප්‍රථම සිංහල කතානාද චිත්‍රපටය වූ කඩවුණු පොරොන්දුවේ මොහොමඩ් නම් චරිතය රඟපෑමෙන් සිනමාවට පිවිසි ගැටවර නළුවෙකි. 18 හැවිරිදි කෙසඟ නළුවකු ලෙස 'අවතාරය' නාට්‍යයෙන් 1940 වසරේ මීගමුවේ මිනර්වා නාට්‍ය සමාගමට බැඳුණේ නළුවකු වශයෙන් කිසි දක්ෂතාවක් ඇතිව නොවේ. මීගමුවේ මාරිස්ටෙලා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඔහු පාසලේ පැවැත් වූ විවිධ ප්‍රසංගයන්හිදී රඟපා ලබා ගත් අත්දැකීම පමණකි ඔහුට තිබුණේ.

ඔහු ස්වෝත්සාහයෙන් දියුණු වී රඟපෑමත්, ගායනයත් ප්‍රගුණ කොට චිත්‍රපට නිෂ්පාදකයෙකු ලෙස ද සිංහල සිනමාවට දායක වූ කලාකරුවෙකි.

ඔහුට මුල සිටම විකට නළුවකු ලෙස නැඟී සිටීමට උපකාර කොට ඇත්තේ එඩී ජයමාන්නය. 'එඩී හා බර්ට්‍රම්' කොතරම් අඹ යහළුවන් ද කිවහොත් එඩීට සහ රුක්මණීට හොරෙන් පැනයාමේ නාඩගමේ පසුබිමේ සිටි දෙතුන් දෙනාගෙන් කෙනෙකි ඔහු. මේ බව 1955 නොවැම්බර් 13 වෙනිදා 'සිළුමිණ' පුවත්පතට මීමන ප්‍රේමතිලක විසින් ලියූ 'සිළුමිණ ඉදිරිපත් කරන එඩී ජයමාන්න' නම් සතිපතා පළ කරන ලද විශේෂාංගයේ මෙසේ සඳහන් වෙයි.

එඩී. රුක්මණී පැන ගියේ කෙහේදැයි බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න හෝ ජයමාන්න පවුලේ කිසිවකු දැන සිටියේ නැත. එපමණක් නොව ජයමාන්න පවුලම සිටියේ එඩී ගැන ක්‍රෝධයෙනි. මේ දෙදෙනාට පැනයාමට උදව් කළේ කවුද? යන ප්‍රශ්නයට පිළිතුර දැන සිටියේ බී. ඒ. ඩබ්ලිව්. පමණි.

'එඩී - රුක්මණී පැනයාමේ නාටකයෙහි දක්ෂ ලෙස රඟපෑ නළුවෙකි බර්ට්‍රම් ප්‍රනාන්දු. උපන් දින සාදයක් පැවති ගෙදරකින් රුක්මණී නංවා ගත් මෝටර් රථයෙන් එඩී, බර්ට්‍රම් ප්‍රනාන්දු හමුවීමට ගොස් 'සියල්ල හරි. මම අහවල් තැනට යන්නම්' යි පැවසීමෙන් පසුවය මීගමුවෙන් අතුරුදන් වූයේ.'

බර්ට්‍රම් කිසිවක් නොදන්නා පරිදි බී. ඒ. ඩබ්ලිව්ගේ නිවසට යන විට ජයමාන්න පවුල මේ සිද්ධිය ගැන සාකච්ඡා කරමින් සිටියහ. ඔහු බී. ඒ. ඩබ්ලිව්. අසලට ගියේය.

'ඇලෝ අයියා, මොකද මේ සෙනඟ රැස් වෙලා. මොකද? කාටවත් අසනීපයක්ද?'

'පලයන්, පලයන් උඹ හරියට නොදන්නවා වාගේ මෙතනට එනවා සුදුලූනු පොඩි කරන්න' බී. ඒ. ඩබ්ලිව්. සමච්චල් සිනාවක් මුවට නඟා ගත්තේය.

'මොකක්ද? ඇලෝ අයියා ඔය කියන කතාව'

බර්ට්‍රම් ද විස්මයෙන් දක්ෂ නළුවෙකු ලෙස කීවත් ඇලෝ අයියා නළුවන් හැදූ ගුරෙක් නිසා ඔහුගේ ව්‍යාජ රඟපෑම දැනගන්ට ඇත. බී. ඒ. ඩබ්ලිව්, බර්ට්‍රම්ට කතාකළේ 'බර්ටි' කියාය.

'බර්ටි බොරු කියන්නේ නැතිව කියාපන් එඩී ඉන්නේ කොහේද කියලා'

යළිත් බර්ට්‍රම් කිසිවක් නොදත්තෙකු ලෙස රඟපෑවේය.

කෙසේ වුව ද එඩී හා රුක්මණී, ජයමාන්න පවුල සමඟ සමගි සමාදාන වීමෙන් පසු ඔවුන් සමඟ බර්ට්‍රම්ට මිනර්වා නාට්‍යවල රඟපෑමට අවස්ථාව ලැබුණු අතර මිනර්වා නාට්‍ය ඇසුරේ නිපද වූ චිත්‍රපටවල විකට රඟපෑමට ද අවස්ථාව ලැබිණ. 'කඩවුණු පොරොන්දුව' චිත්‍රපටයේ මොහොමඩ් ලෙස රඟපෑ බර්ට්‍රම් 'කපටි ආරක්ෂකයා' චිත්‍රපටයේ ද විකට චරිතයක් රඟපෑවේය. චිත්‍රපටයේ හැටියට එඩී ජයමාන්න රඟපෑවේ පාවුළු ගුරුන්නාන්සේ්ගේ චරිතයයි. ශිෂ්‍යයන් අතර සිටි ජෙමිනි කාන්තා පබි නෝනා ලෙස ද සිසුවෙකු ලෙස බර්ට්‍රම් ජුන්ඩා ලෙස රඟපෑ අතර මේ තිදෙනාම ගීතයක් ද ගයා තිබුණි. බර්ට්‍රම් චිත්‍රපට පසුබිම් ගායකයකු ලෙස දොරට වඩින්නේ ද මේ චිත්‍රපටයෙනි. එහිදී බර්ට්‍රම් හා ජෙමිනි පාසල් ඇවිත් ගුරුතුමා ඉදිරියේ ගැයූ ගීතයක කොටසකි මේ.

'උදය නැගිට මුව සෝදා

තේ පැන් බී පාසල් ආවා

කෙසෙල් කැන් ද ආප්පත් කාලා

මමත් හනික ආවා

පානුයි සම්බෝලයි කාලා ඔන්න මමත් ආවා

හීල් බතුයි පොල් සම්බෝලයි උදේට මම කෑවා

කන්න දෙයක් නැහැ බඩගින්නේ මම

හෙමින් හෙමින් ආවා'

1948 වසරේම තිරගත වූ 'වැරදුණු කුරුමාණම' චිත්‍රපටයේ බර්ට්‍රම් රඟපෑවේ පින්තුගේ චරිතයයි. 1949 තිරගත වූ 'පෙරළෙන ඉරණම' චිත්‍රපටයේ බර්ට්‍රම් පීතර කොලුවා නම් විකට චරිතයක් රඟපාමින් 'මං බඳින වයස තවම දන්නෙ නැද්ද මව්පියෝ' ගීතය ගැයීය. 1950 වසරේ 'හදිසි විනිශ්චය' චිත්‍රපටයේ පින්තු ලෙස ද, 1951 වසරේ තිරගත වූ සැගවුණු පිළිතුර චිත්‍රපයේ රඟ පෑ අළුනේරිස් නම් මන්ත්‍රී අපේක්ෂකයාගේ චරිතයෙන් ඔහු මුල්වරට ගීතයක් ගයමින් චරිතාංගයක් රඟපෑවේය. මේ ඒ ගීතයයි. එහි ගීත රචනය සී. වීරසේකර. සංගීතය මොහොමඩ් ගවුස්.

'මන්ත්‍රීකම දිනනවා - මන්ත්‍රීම දිනනවා

නම්බු ලබමි වැඩි පගා වේ

ජෝ මාගේ ඒ තමා

මන්ත්‍රීකම දිනනවා

හොඳ කාලේ දිනුම් ලබාලා

වැඩි ඡන්දේ හොරෙන් දමාලා

මගේ ඡන්ද ලකුණ ගොළුබෙල්ලා

දැන් කාලෙ හොඳා ගුරු සිකුරු උච්ච මගේ කේන්දරේ

මැතිතුමා - මැතිතුමා

ගෑනුන්ගේ ඡන්ද මට තමා

නම්බු ලබමි වැඩි පගාවේ

ජොලිය මාගේ මේ තමා

මන්ත්‍රීකම දිනනවා'

මේ චිත්‍රපටයේ මන්ත්‍රීකමට ඉල්ලන බර්ට්‍රම්ගේ ඡන්ද සලකුණ ගොළුබෙල්ලාය. ලොකු ගොළු බෙල්ලෙක් හිස මත තබාගෙන ගම පුරා අළුනේරිස් මන්ත්‍රීතුමාගේ චරිතය තුළින් බර්ට්‍රම් එදා චිත්‍රපට ප්‍රේක්ෂකයාගේ හිත ඇදී ගියාද යත් ඔහු බස් රියකදී දැක්කත් 'අර ඉන්නේ ගොළුබෙල්ලා' යයි ඇමතු බව ආනන්ද තිස්ස ද අල්විස් විසින් සංස්කරණය කළ 'දින දින' සඟරාවට ලිපියක් ලියූ ඒ. ඇම්. විමලසේනට පවසා තිබුණා. එදා (1953) මේ ලියුම්කරු නවයොවුන් වියේ සිටි බර්ට්‍රම්ගෙන් 'අනාගත ජීවිතයේ සහකාරිය කවුදැයි' ඇසූ විට 'මගේ කෙල්ල මට කවදා හරි මට හමු වේවි' යයි පිළිතුරු දී තිබුණි.

1952 තිරගත වූ 'උමතු විශ්වාසය' චිත්‍රපටයේ බර්ට්‍රම් අබරන් ලෙස ද එඩී ජයමාන්න සාපින් ලෙස ද රඟපාමින් පසුබිම් යුග ගීයක් ගයා තිබුණි. මේ ගීතයේ රචනය හර්බට් එම්. සෙනෙවිරත්න / සංගීතය එස්. එස්. වේදා.

සාපින් - පිස්සුව අලි බී පෙන්වා

අපෙ තාත්තා බය ගන්වා

යම් මඟුලක් මම සොයලා

මහ මූදෙ උනත් ගිලිලා

අබරන් - ඉංග්‍රීසි කාලේ - මම කලිසමටයි ආලේ

හෙට කොළඹට මම යනවා - ලොකු මහත්තයෙක් වෙනවා

'මංගල සිරිය' නාට්‍යයේ රඟපෑ ඒ. ජේ. කරීම් සමඟ ගී ගැයූ ලැටීෂියා දාබරේව බී. ඒ. ඩබ්ලිව්ට හඳුුන්වා දුන්නේ ද බර්ට්‍රම් විසිනි. බී. ඒ. ඩබ්ලිව්. විසින් ඇය ලලිතා කුමාරි ලෙස නිළියක් හා ගායකාවක් ලෙස 'සැඟවුණු පිළිතුර' චිත්‍රපටයෙන් හඳුන්වා දුන්නේය. ලලිතා කුමාරි විවාහ වී සිටියේ එන්. ජේ. කුරේ නම් ප්‍රකට නාට්‍ය රචකයා සමඟය. 1974 දී පමණ ඔහු බර්ට්‍රම් ප්‍රනාන්දු සමඟ වේදිකා නාට්‍යයක් කිරීමට සූදානම් වෙද්දී මෙම ලියුම්කරුට කොටුවේ බ්‍රිස්ටල් හෝටලයේදී හඳුන්වා දුන්නේ චිත්‍රපට අධ්‍යක්ෂ ධර්ම ශ්‍රී කල්දේරා විසිනි. එදා මට බර්ට්‍රම් ප්‍රනාන්දු සමඟ මුල්වරට කතාබහ කිරීමට අවස්ථාව ලැබිණ. ඔහු කොතරම් සුන්දර මිනිසෙක්දැයි එදා මට වැටහිණ.

1947 - 1953 තෙක් බී. ඒ. ඩබ්ලිව්. ගේ චිත්‍රපටවල රඟපෑ බර්ට්‍රම් ප්‍රනාන්දු සිනමාස් සමාගමේ 'සුජාතා' චිත්‍රපටයට එක් වූයේ පෙරේරා උන්නැහැගේ චරිතය තුළිනි.

බර්ට්‍රම් රඟපෑ චිත්‍රපට කිහිපය අතර සිනමාස්ගේ 'රදළ පිළිරුව' චිත්‍රපටයේ කාවන් පියසේන නම් 'නවෝදය' පුවත්පතේ කතුවරයාගේ චරිතයට විචාරක ප්‍රශංසා හිමිව ඇත. රදළ පිස්සුව හැදුණු රෆායල් හාමු ලෙස රඟපාන ලැඩී රණසිංහ සමඟ බර්ට්‍රම් රංගනයෙන් හැකියාව පෙන්වා ඇත.

බර්ට්‍රම් චිත්‍රපට නිෂ්පාදකයකු ලෙස සිනමාවට එක් වන්නේ 1958 වසරේ තිරගත වූ 'දස්කම' චිත්‍රපටයෙනි. එහෙත් ඊට වසර පහකට පෙර බර්ට්‍රම් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට සූදානම් බවට ප්‍රවෘත්තියක් රොබට් ජයවර්ධන සංස්කරණය කළ 'සිනමා' පුවත්පතේ 1953 සැප්තැම්බර් 06 වෙනිදා පළ කර තිබුණේ 'සිනමාස් මීළඟ නිෂ්පාදනය බර්ට්‍රම් ප්‍රනාන්දු අධ්‍යක්ෂණයට' යන ශීර්ෂයෙනි. ඒ ප්‍රවෘත්තියට අනුව තමා ඩී. වී. සෙනෙවිරත්නගේ නවකතාවක් අධ්‍යක්ෂණය කරන බවත් එහි ප්‍රධාන චරිත සඳහා එඩී හා රුක්මණී තෝරා ගන්නා බවත් පවසා තිබුණි.

එහෙත් බර්ට්‍රම් මුල්ම නිෂ්පාදනය කළ 'දස්කම' චිත්‍රපටය 1958 ජූලි 25 වෙනිදා තිරගත විය. එහි අධ්‍යක්ෂවරයා වූයේ ලංකාවේ ප්‍රථම සිංහල කතානාද චිත්‍රපටය වූ 'කඩවුණු පොරොන්දුව' චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වූ ඉන්දීය ජාතික ජ්‍යෝතිෂ් සිංය. ඡ්‍යෝතිෂ් සිං අධ්‍යක්ෂණය කළ එම චිත්‍රපටයේ ද, වැරදුණු කුරුමාණම, පෙරළෙනඉරණම චිත්‍රපටවල රඟපෑ බර්ට්‍රම් ඔහුට අධ්‍යක්ෂණය භාර දී ඇත්තේ ඔහුගේ පළපුරුද්ද නිසාය. බෙංගාලි ජාතිකයකු වූ ඔහු හඳුන්වා දී තිබුණේ බාබුජී නමිනි.

'දස්කම' චිත්‍රපටයේ රවීන්ද්‍ර රූපසේන, දිස්නා රංජනී, ඩඩ්ලි වානගුරු, ශාන්ති අබේසේකර, බර්ට්‍රම් ප්‍රනාන්දු, තිලකසිරි ප්‍රනාන්දු, ගාමිණී අබේසිංහ, මිලී කහඳවල, උදුලා දාබරේ, ප්‍රේමා විජේවර්ධන රඟපා ඇති අතර දෙබස් හා ගීත රචනය කරුණාරත්න අබේසේකරගෙනි. සංගීතය අංශයෙන් දස්කම චිත්‍රපටය උසස් තැනක් ගත් අතර සියලුම ගී තනු ස්වතන්ත්‍රය. එයට හේතුව වූයේ ශ්‍රේෂ්ඨ සංගීතඥයකු වූ එඩ්වින් සමරදිවාකර සංගීත අධ්‍යක්ෂණය කළ එකම චිත්‍රපටය මෙය වීමය. ගීත අටක් ඇතුළත් වූ මේ චිත්‍රපටයේ ගීත 07 ක් ජනප්‍රිය වූ බව මහාචාර්ය සුනිල් ආරියරත්න පවසා ඇත. ඔහු තවදුරටත් මෙසේ කියා තිබුණි.

'දස්කම සමරදිවාකර සංගීත නිර්මාණය කළ එකම චිත්‍රපටය වුවත් එහි ඇත්තේ සිංහල සිනමා වංශයෙහි අමරණීය ගීතාවලියකි. '1. දෙව්ලොව දෙව්සැප දෙයි තිර ප්‍රේමේ (ඇන්ජලින් ගුණතිලක සහ මල්ලිකා කහවිට) 2. වාසනාව පෑදේවි හෝ හෝ (ජෝතිපාල සහ ඇන්ජලීන්) 3. තුරු වදුලු තුලේ සඳළු තලේ (ජී. එස්. බී. රාණි පෙරේරා) 4. හොඳ කල ආදා පයට මිණි මුතු පෑගේ (මොහිදීන් බෙග්) 5. ඔහු මරයි නම් (බෙග්) 6. මඩ දියෙ පිපුණට කිරි සුදු පිරිසුදු ඕලු (ජී. එස්. බී. රාණි) 7. ඉපිද මැරේ යළි ඉපිදේ (අමරදේව) ඒ ගීතාවලියයි. මේ ඇතැම් ගීයක් නිර්මාණය කිරීමේදී සමරදිවාකර උත්තර භාරතීය රාගධාරී සංගීතයෙහි සමීප ආශ්‍රය ලද බව 'ඉපිද මැරේ' ගීයෙන් පෙනේ. ඊට පාදක වී ඇත්තේ පහාඩි රාගයයි.

'අශෝකමාලා' චිත්‍රපටයේ ගී ගැයීමෙන් වසර 11 කට පසු අමරදේව ගී ගැයූ චිත්‍රපටය වූ 'දස්කමේ කරුණාරත්න අබේසේකර ගේ ප්‍රශස්ත ගීත රචනා සහිත චිත්‍රපට අතළොස්සෙන් ද එකක් බව මහාචාර්ය ආරියරත්න පවසා ඇත.

ඒ ගීත අතරින් අමරදේවයන් ගැයූ මේ ගීතය සුවිශේෂිතය.

ඉපද මැරේ යළි ඉපිදේ

නොතිර සසර සාගරේ

අතරතුරේ නොමැරි මැරේ දස දහස් වරේ

නිසල නැසේ සසල වෙතේ

නොතිර සසර සාගරේ

කුමන නැටුම් කෙළි කවට සිනාදා

මරුට නොමැත කිසි විටකදී බාධා

ඔබට නොදන්වා මරු මෙහි ආදා

යන්නට සිදු වන්නේ ඉන්නට බැරි වන්නේ

නොතිර සසර සාගරේ

කුණු කය නිසරුයි නැත පවතින්නේ

කළ හොඳ පමණයි මෙලොව රැඳෙන්නේ

නැති බැරිකම ලෙඩ දුක ඇති වන්නේ

අපටයි මිනිසුනේ ඇයි එය නොසිතන්නේ

මේ ලිපියේ එන සියලුම ගීතවල නිවැරදි ගේය පද රචනා මහාචාර්ය ආරියරත්න විසින් ලියන ලද 'සිංහල චිත්‍රපට ගීතාවලිය' කෘතියෙන් උපුටා ගත් ඒවාය. මෙහි ඇතැම් ඡායාරූප ආතර් යූ. අමරසේන විසින් ලියූ 'සිංහල සිනමා වංශය' කෘතියේ ඒවාය.

බර්ට්‍රම් ප්‍රනාන්දු රඟපෑ අවසාන චිත්‍රපටය වූයේ කිංස්ලි රාජපක්ෂගේ 'ඉඳුනිල' හා රෝලන්ඩ් අමරසිංහගේ කේසර සිංහයෝ බව පැවසේ. 'පටාචාරා' හා 'මාතෘ භූමි' චිත්‍රපටවල ද ඔහු රඟපෑ බව සිනමා පුවත්පතක සඳහන් වී තිබුණි.

1921 අප්‍රෙල් 10 වෙනිදා මීගමුවේ දවටගහ වත්තේ උපත ලැබූ අධ්‍යාපනය ලැබූ එමානුවෙල් ඇන්තනී බර්ට්‍රම් ප්‍රනාන්දු කලක් අලෙවි කිරීමේ දෙපාර්තමේන්තුබේ ගබඩා භාරකාරවරයකු ලෙස ද සේවය කොට සිනමාවෙන් ඈත් වී සිටියේය.

ඔහු 1986 නොවැම්බර් 15 වෙනිදා ජීවිත සිනමාවෙන් සමු ගත්තේය.

ඒ.ඩී.රන්ජිත් කුමාර ලාල් සෙනරත්

As a Cast

#Film NoYearFilm RoleDirector
1 11947 Kadawunu Poronduwa කඩවුණු පොරොන්දුව Actor Jyotish Sinha
2 31948 Kapati Arakshakaya කපටි ආරක්ෂකයා Actor K.Subramuniyam, Jyotish Sinha
3 51948 Weradunu Kurumanama වැරදුනු කුරුමානම Actor Jyotish Sinha
4 71949 Peralena Iranama පෙරලෙන ඉරණම Actor Jyotish Sinha
5 91950 Hadisi Winishchaya හදිසි විනිශ්චය Actor Mersalin Albert, B.A.W. Jayamanne
6 111951 Sengawunu Pilitura සැඟවුණු පිළිතුර Actor B.A.W. Jayamanne
7 131952 Umathu Wishwasaya උමතු විශ්වාසය Actor B.A.W. Jayamanne
8 191953 Sujatha සුජාතා Actor T.R. Sundaram
9 211954 Warada Kageda වරද කාගේද Actor T.R. Sundaram, G.R. Rabo
10 241954 Ahankara Sthree අහංකාර ස්ත්‍රී Actor A.B. Raj
11 251954 Radala Piliruwa රදල පිළිරුව Actor T.R. Sundaram
12 1021964 Patachara පටාචාරා Actor Wimalanath Dissanayaka
13 1731968 Mathru Bhumi මාතෘ භූමි Actor Wimalanath Dissanayaka, Ariyadasa Kumarasinghe
14 1801968 Indunila ඉඳුනිල Actor Kingsly Rajapaksha
15 2301971 Kesara Sinhayo කේසර සිංහයෝ Actor Roland Amarasinghe

As a Crew

Producer

#Film NoYearFilm RoleDirector
1 531958 Daskama දස්කම Producer Jyotish Sinha
Film NoYearFilmSongRole
3 1948 Kapati Arakshakaya කපටි ආරක්ෂකයා Sinhala Udaya nagitaඋදය නැගිට Vocalists
7 1949 Peralena Iranama පෙරලෙන ඉරණම Sinhala Man bandina wayasaමං බඳින වයස Vocalists
9 1950 Hadisi Winishchaya හදිසි විනිශ්චය Sinhala Mage rupe balaalaමගේ රූපේ බලාලා Vocalists
11 1951 Sengawunu Pilitura සැඟවුණු පිළිතුර Sinhala Manthrikama dinanawaමන්ත්‍රීකම දිනනවා Vocalists
13 1952 Umathu Wishwasaya උමතු විශ්වාසය Sinhala Pissuwa Ali Bee Penwaaපිස්සුව අලි බී පෙන්වා Vocalists
19 1953 Sujatha සුජාතා Sinhala Dan Kaleදැන් කාලේ Vocalists
Giya Thamayiගියා තමයි Vocalists
21 1954 Warada Kageda වරද කාගේද Sinhala Joliya Joliyaජොලිය ජොලිය Vocalists
Sikura Labai Kale Hondaiසිකුරා ලබයි කාලේ හොඳයි Vocalists