BIOGRAPHY
1968 වසරේ එක් දිනයක කොළඹ හැව්ලොක් ටවුමේ ජ්‍යෙෂ්ඨ විද්‍යාල ශාලාවේදී (අද ලුම්බිණි රඟහල) හෙන්රි ජයසේනගේ 'හුණුවටයේ කතාව' නැරඹීමට ගිය පාසල් ශිෂ්‍යයකු වූ මට නාට්‍ය අවසානයේ පාසල් කොරිඩෝවේදී අපූරු ජවනිකාවක් දැකගන්නට ලැබිණ. ලුම්බිණි රඟහලේ සිසිල් බීම විකුණන වයෝවෘධ අන්කල්ගේ හිස මේසයකට ඔබාගෙන තරුණයන් දෙදෙනකු පහර දෙන පිළිකුල් දර්ශනයකි. කාලයක් තිස්සේ මේ රඟහලේ සිසිල් බීම විකුණන මේ අන්කල්ට මේ පහරදීම අවට බලා සිටි අයගේ අප්‍රසාදයට ලක් වුවත් එය නවතාලීමට කිසිවකු ඉදිරිපත් නොවීය.
'හුණුවටයේ' හේවායකු ලෙස රඟපෑ උස නළුවකු තම ඇඳුම් පිටින්ම එතැනට පැමිණියේ විදුලි වේගයෙනි. ඔහු අන්කල්ට පහර දෙන එක තරුණයකු ඉවතට ඇද ඔහුට විදුලි සැරයෙන් පහරක් දුන්නේය. ඔහු පහර කා ශාලාවේ ඈත කෙළවරට ඇදී ගියේය. දෙවැනි තරුණයා තවමත් අන්කල්ට පහර දෙයි. ඉවතට ඇද ගත් ඔහුට ද අත් වූයේ අර ඉරණමය. මේ දර්ශනය බටහිර චිත්‍රපටයක චාල්ස් බ්‍රොන්සන්ගේ සටන් දර්ශනයක් සිහි ගන්වන අවස්ථාවකි.
මර්වින් ජයතුංග නම් වේදිකා නළුවා මා දුටු මුල් අවස්ථාව මෙය විය. ඔහු හා මුල්වරට කතා කිරීමට අවස්ථාව ලැබුණේ 'චණ්ඩි පුතා' චිත්‍රපටයේ ඔහු ප්‍රධාන නළු ගාමිණී ෆොන්සේකා සමඟ ද්වන්ද සටනකට සැරසී සිටි අවස්ථාවකය. ඒකකාරී චිත්‍රපට සටන් කලාවෙන් මිදී නවතාවයකින් එදා ගාමිණී සමඟ මර්වින් කළ සටන් දර්ශනයෙන් පසු ගාමිණී ඔහුට සුබ පැතුවේය. මම මර්වින් ජයතුංග හඳුන්වා දෙමින් විශේෂාංගයක් මුල්වරට 1976 වසරේ 'සරසවිය' පත්‍රයට ලීවෙමි.
1940 මාර්තු 09 වෙනිදා පිටියගේ මර්වින් පියදාස ජයතුංග උපන්නේ මොරටුවේ කොරලවැල්ලේය. ඔහුගේ පියා වූ ජේම්ස් ජයතුංග වෝකර්ස් සමාගමේ සේවය කොට පසුව පූර්ණකාලීනව ලී වැඩ කර්මාන්තයේ යෙදී ඇත. මර්වින්ගේ මවගේ නම මර්ලින් ෆ්ලෝරිඩා ප්‍රනාන්දුය. පවුලේ වැඩිමලා වූ මර්වින්ට පිරිමි සහෝදරයන් තිදෙනෙකු සිටි බව මට කියා ඇත. ලොකු මල්ලි සුමනදාස කැප්ටන් මුද්‍රණාලයේ සේවය කළ බවත් ඊළඟ මල්ලී ලින්කන් කරුණාදාස ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ද, මිලින්ටන් ජිනදාස මල්ලි ලංකා විදුලි බල මණ්ඩලයේ ද, බාල මල්ලී ජයන්ත විමලදාස නාට්‍ය වේදිකා සැරසිලි නිර්මාණ ශිල්පියෙකු ලෙස ද කටයුතු කළ බවත් පැවසූ මර්වින් තමාට මානෙල් චන්ද්‍රවතී, පද්මා කුසුමාවතී, අශෝකා ඉන්දුවතී හා භද්‍රා කාන්ති නම් බාල සොහොයුරියන් සිටි බව කීවේය..
'මම මුලින්ම ඉගෙන ගත්තේ හොරේතුඩුවේ ශී‍්‍ර චන්ද්‍රශේකර විද්‍යාලයේ. හතරවන පන්තියෙන් පසු මම මොරටු විද්‍යාලයට ගියා. අපි මේ ඉස්කෝලෙට යන කාලයේ එහි තිබුණා විශාල නා ගහක්. නා ගස යටදී මුලින්ම ඩබ්ලිව්. ජේ. ප්‍රනාන්දු කියන ගුරු මහතා අපට ස-රි-ග-ම-ප-ධ-නි-ස හඬ නඟා කියා දුන්නා. අපි බොහෝම ආසාවෙන් ඒවා ඇහුම්කන් දීලා ඉගෙන ගත්තා. මට ගායනය ගැන ඇල්මක් ඇති වුණේ ඊට පස්සේ. පුංචි කාලේ මොරටුවේ ජස්ටින් අයියාගේ වෙසක් කැරොල් සන්දර්ශනවල මා ගීත ගයමින් ගමේ හැම තැනම ගියා.
ළමා කාලයේ මට අමතක නොවන සිද්ධියක් තියෙනවා. දවසක් මගේ මල්ලී (කරුණාදාස) මොරටු ගඟේ ගිලෙන්න ගියා. මම එයාව ගලවා ගන්න ගඟට පැන බේරා ගත්තා. මගේ මුල්්වරට පීනපු දවස එදා. මට කිසිම පුහුණුවක් තිබුණේ නැහැ. හිතේ හයියට ගඟට පැන්නේ. ඒ වගේ පුංචි සන්දියේ මම මගේ වයසේ ළමුන් එක්ක ගහ ගත්තා. දබර කර ගත්තා. මාව 'චණ්ඩියෙක්' හැටියටයි මොරටු විද්‍යාලයේ ප්‍රසිද්ධ වී තිබුණේ. පුංචි කාලේ ඉඳලම ප්‍රසිද්ධ වේදිකාවල පෙනී සිටීමට මම අකමැතියි. දවසක් සාහිත්‍ය සංගමයේ සභාපති ගාමිණී විජේසූරිය කතාවක් පවත්වන්න මටත් නොකියා න්‍යාය පත්‍රයට මගේ නම ඇතුළත් කර තිබුණා. මේ බව දැකපු මට හොඳටම කේන්ති ගිහින් ශිෂ්‍ය සභාපතිට පහර දුන් දවස මට කිසිදා අමතක වෙන්නේ නැහැ. එදා මර්වින් තමාගේ කුඩා අවදිය සිහිපත් කළේය.
එහෙත් මර්වින් පාසලේදී මුලින්ම නාට්‍යයක රඟපා ඇත්තේ මොරටු විදුහල්පතිව සිටි ඒ. එම්. ද සිල්වා මහතා නිසාලු. හොඳ කලාකරුවකු වූ ඒ මහතා රුක්මණී දේවි සමඟ එකට රඟපා ඇති අතර පාසලේදී වේදිකා ගත කළ ශේක්ස්පියර් නාට්‍යයක් ඇසුරෙන් පාසලේ රඟදැක් වූ නාට්‍යයේ රඟපෑමට මර්වින්ට ඉඩ ප්‍රස්ථාව ලැබී ඇත. මර්වින්ගේ පියා ටවර් නාට්‍ය බැලීමේ රසිකත්වය තිබූ ගමේ කැපී පෙනෙන කලාකරුවකු ලෙස ප්‍රකටව සිට ඇත. ඒ නාට්‍ය ගමේ රඟපෑ මිතුරන් රස ගැන් වූ ඔහුට හොඳට ගීත ගැයීමටත් හැකියාව තිබී ඇත. තාත්තාගේ උරුමය මර්වින්ටත් බාල මල්ලී වූ ජයන්තටත් කලා උරුමය ලැබී ඇත.
මොරටු විද්‍යාලයෙන් ජ්‍යෙෂ්ඨ විභාගය සමත් වූ මර්වින් පවුලේ වැඩිමලා වීම නිසා ඉක්මනින් රැකියාවක් සොයා ගැනීමට සිතුවේය. 'පුතේ උඹ තවදුරටත් ඉගෙන ගන්න බලපං. අපට ඇහැක් විදියට ගෙදර වැඩ බලා ගන්නං' අම්මා ඔහුට කීව ද ගෙදරට හොරෙන් කොළඹ රැකීරක්ෂා කාර්යාලයේ ලියා පදිංචි වී ඇත. 1959 මැයි 14 වෙනිදා ඔහුට විදුලි පණිවුඩයක් ලැබුණේ කොටුවේ කාර්ගෝ කෝපරේෂන් හි රැකියාවක් සඳහාය. එතැනින් ඔහු දුම්රිය දෙපාර්තමේන්තුවට බැඳී දුම්රිය රියදුරෙකු ලෙස පුහුණුව ලබා ඇත. ඉන් පසු ඔහු මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සිතියම් විද්‍යා සැලසුම් ශිල්පියකු ලෙස සේවයට බැඳෙයි. ඒ පිළිබඳව ඉන්දියාවේ හයිඩ්රාබාද් නුවර පුහුණුවක් ලබා ගෙන ඇත. එදා මර්වින් කලාවට යොමු වුණේ රජයේ සේවයට බැඳීමෙන් පසුවය. ඒ පිළිබඳ ඔහු අපට මෙසේ කීවේය.
'ඉස්සර තිබුණා රජයේ සේවා නිලධාරීන්ගේ කලා කවයක්. 1961 ජේ. එන්. එස්. වර්ණකුලසූරිය කියන පෝස්ට් මාස්ටර් කෙනෙක් නාට්‍යයක් පුහුණු කළා. 'සුමුදු භාර්යා' කියන මේ නාට්‍යයේ මම මුලින්ම සුළු චරිතයක් රඟපෑවා. ඊට පස්සේ මම හෙන්රි ජයසේනගේ නාට්‍යවලට සම්බන්ධ වුණා. මා සමඟ මිනුම් දෙපාර්තමේන්තුවේ සේවය කළ මිතුරන් දෙදෙනකු සැන්ටින් ගුණවර්ධන සහ පිට්ස්රෝයි ද මෙල් (ශ්‍රී ලංකාවේ ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩා විනිසුරුවෙක්) මාව නාට්‍ය රංගනයට දිරිමත් කළා. මම කාර්යාලයේ සිටින අයගේ ඉරියව් අනුගමනය කරලා රඟපාලා පෙන්නුවා. මේ නිසා සැන්ටින් හා පිට්ස්රෝයි කිව්වා 'අයිසේ මර්වින් අපි තමුසෙට නාට්‍යයක රඟපාන්න අවස්ථාවක් ලබා දෙන්නම්' කියලා. සැන්ටින් හා පිට්ස්රෝයි මාව යොමු කළ නිසා හෙන්රි ජයසේන මහතාගේ 'හුණුවටයේ කතාවක', 'දිරිය මව', 'අපට පුතේ මඟක් නැතේ' වගේ නාට්‍යවල රඟපෑවා. මේ අතර හෙන්රි ජයසේන මහතාගේ රෙකමදාරුව මත මට 'එලිෆන්ට් බෝයි' නම් රූපවාහිනී චිත්‍රපටයේ මම දඩයක්කාරයෙක් හැටියට රඟපෑවා එස්රම් ද සේරම් සමඟ'.
මර්වින් තමාට වේදිකා නාට්‍යවලට රඟපෑමට අවස්ථාව ලබා දුන් හෙන්රි ජයසේන මහතාටත් සැන්ටින් හා ද මෙල් යන මිතුරන්ට කෘතඥතාවය පළ කළා. හෙන්රිගේ නාට්‍යවල වේදිකා සැරසිලි අංශයත් භාරව සිටි මර්වින් නැගෙනහිර ජර්මනියට ගොස් වේදිකා නාට්‍ය කලාව ගැන අධ්‍යයනයක් කිරීමට අවස්ථාව ලැබී ඇත. පෙරළා පැමිණි ඔහු ගමනක් සහ මිනිහෙක් - ඒකාධිපති - ස්ත්‍රී - රන් සලකුණ - ඒකාධිපති - කඩදාසි කොටි නාට්‍යවල රඟපෑවේය. ඔහු සිනමාවට හඳුන්වා දි ඇත්තේ වේහැල්ලේ පියතිලක බව ද කියා ඇත.
'මම මුලින්ම රඟපෑවේ චාල්ස් පෙරේරාගේ 'විස්මය' චිත්‍රපටයේ. එහි රඟපෑවේ සංගීත උපදේශකවරයෙක් ලෙස. ඊට පස්සේ 'පෙම්බර මධූ' චිත්‍රපටයේ සටන් නළුවෙකු ලෙස ද රඟපෑ මම 'චණ්ඩි පුතා' චිත්‍රපටයේ දඩබ්බර සමාජ ශාලා හිමියා. එකම වර්ෂයේ චිත්‍රපට තුනක එකවර රඟපෑම මගේ චිත්‍රපට නළු ජීවිතයේ හැරවුම් ලක්ෂය 'චණ්ඩි පුතා'. මාව චරිතාංග නළුවකු කිරිමට අත හිත දුන් සෝමපාල ලීලානන්ද, ආරියරත්න පෙරේරාට කෘතඥ වෙනවා. ගාමිණී ෆොන්සේකා සමඟ සටන් දර්ශන කිරීමේදී මට අවවාද කිහිපයක් දුන්නා. එකක් තමා සමඟ සටන් කරන සහාය නළුවාට තුවාල නොකොට රඟපාන හැටි.
'චණ්ඩි පුතා චිත්‍රපටයේ එක් දර්ශනයකදී ගාමිණීගේ පහරක් ලබා ජනේලයක වීදුරු කඩාගෙන ඉවතට විසි වුණා. ඒත් කැමරාවේ කාර්මික දෝෂයක් නිසා මේ දර්ශනය රූපගත වුණේ නැහැ.'
තම ජිවිතයේ ලස්සනම දවස ලෙස මර්වින් සලකන්නේ විවාහ වූ දවසය. අනික් දවස එස්. එස්. සී. විභාගය එකවරින්ම සමත් වූ දවස බව මට කියා තිබුණි. මගේ බිරිඳ නාලිනී හේමලතා මොරගල්ල. ඇය උපන්නේ ගල්කිස්සේ. මොරටු විද්‍යාලයේ මලල ක්‍රීඩා උත්සවය බලන්න නාලිනී ඇවිත් සිටියේ ඇගේ යෙහෙළියක් සමඟ. මම පාසල් යන කාලයේ ක්‍රීඩාවලට හරිම දක්ෂයි. බටහිර කොට්ඨාසයේ හොඳම ක්‍රීඩකයකු ලෙස මම තේරුණා. මීටර් 400 දිවීමේ තරඟය, යගුලිය විසි කිරීම, හෙල්ල විසි කිරීම වැනි තරගවලිනුත් ජය ගත්තා. මලල ක්‍රීඩා උලෙළ අවසානයේ නාලිනීටත්, ඇගේ සොහොයුරියටත්, අපේ පාසලේ ළමයි විහිළු කරනවා මට ඇහුණා. ඇය නිල් ඉරි වැටුණු ගවුමක් ඇඳ සිටින බව මම දුටුවා. ඒ කලේ පාසලේ ළමුන්ට මම සැරෙන් මොනව හරි කිව්වම ළමයි අහන ගතියක් තිබුණා.
'ළමයි සද්ද කරන්න එපා. නිශ්ශබ්ද වෙන්න'
මම කීවාම ළමයි විහිළු තහළු කිරීම නවත්වන්න කියලා ළමයි විහිළු කිරීම නවත්වල නිශ්ශබ්ද වුණා. ඇය මා දෙස කෘතඥතා පූර්වකව බැල්මක් හෙළුවා. ඇය තුළින් මම අහිංසක සුන්දරත්වයක් දුුටුවා. නාලිනී ඉගෙන ගත්තේ ගල්කිස්ස ප්‍රෙස්බෙටීරියන් බාලිකා විද්‍යාලයේ. අපි හමු වෙලා කතා කළා. අපි එකිනෙකා හඳුනා ගත්තා. වසර 3 කට පස්සේ විවාහ වුණේ.'
මර්වින් සටන් ක්‍රම ඉගෙන ගෙන ඇත්තේ නැසීගිය කරාටේ උපදේශක ඩී. ඒ. වෙල්ගම මහතාගෙන් බව කෘතඥතා පූර්වකව මතක් කළේය. ඔහු සංගීතය ප්‍රිය කළ අතර විශාරද ඩබ්ලිව්. එෆ්. විමලසිරි මහතාගෙන් ඔහු සංගීතය ඉගෙන ගෙන ඇත. සිතාර් වාදනයට මර්වින් දක්ෂයෙක්ව සිටියේය.
මර්වින්ගේ ලොකු දුවගේ නම ප්‍රියදර්ශනී හේමාලි ජයතුංග. පුතා සංජය ප්‍රභාත් ජයතුංගය.
මර්වින් රඟපෑ චිත්‍රපට අතර 'රක්තා' චිත්‍රපටයේ ගෝරාසිං ගේ චරිතයට ඔහු බෙහෙවින් ප්‍රිය කළේය. 'පස මිතුරෝ' චිත්‍රපටයේ ඔහු රඟපෑ චරිතයට ජනාධිපති කුසලතා සම්මානයෙන් පුද ලැබීය. 'පෙති ගෝමර' චිත්‍රපටයේ වන්නකු වු ඔහු සෙනෙහසක කඳුළු චිත්‍රපටයේ දාබරේ ඇත්තෝ ලෙස ද 'අමල් බිසෝ' හි සාදිරිස් ලෙස ද, 'වජිරා' හි ෂෙල්ටන් ලෙස ද, සාගරයක් මැද' හි හිර ගෙදර හයිකාරයා ලෙසද, 'රිදී තැල්ලේ' චාරා ලෙස ද, 'සටන' හි කාල් ලෙස ද සුවිශේෂ රංගනයක යෙදුණේය. 1992 වසරේ ඔහු රඟපෑ චිත්‍රපට 17 ක් තිරගතවීම සිනමා ඉතිහාසයේ වාර්තාවකි. ඒ චිත්‍රපට නම් රණබිමේ වීරයා - ජය ශ්‍රී වේ කුමරියේ - බජාර් එකේ චණ්ඩියා - වියරු මිනිසා - සක්විති රජ - සක්කර සූත්තර - මල්සර දෝණි - චණ්ඩි රැජින - සිංහ රජා - කියල වැඩක් නැහැ - මේ වාරේ මගේ - ඔක්කොම කණපිට - රූමතියයි නීතියයි - සුරනිමල - සත්‍යා - සිංහයන්ගෙත් සිංහයා - රජෙක් වගේ පුතෙක් යන චිත්‍රපටය.
මර්වින් සරසවිය, ජනාධිපති සම්මානලාභී නළුවෙකි. ප්‍රතිපත්ති ගරුක නළුවෙකි. මියගියදාත් ඔහු 'ෆෙලෝ මී' ඉංග්‍රිසි රූපවාහිනි චිත්‍රපටයේ රඟපෑවේය. බෞද්ධ භික්ෂුන් වහන්සේ කෙනෙකු ලෙස රඟපෑමට ඔහු හිස මුඩු කරගෙන සිටියේය. මර්වින් මිය යන විට චිත්‍රපට 75 ක පමණ රඟපා තිබුණි.
චිත්‍රපට රංගනයේ කාර්යබහුල අවිවේකී ජීවිතයක් ගත කළ ද ඔහු වේදිකාව අමතක නොකළේය. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ 'මනමේ' නාට්‍යයේ තුන් වන වැදි රජු ඔහු විය.
ඔහු සහෝදර නළු නිළියන්ගේ අවංක මිතුරෙක් විය. කෝපය ඔහු තුළ දක්නට ලැබුණේ නම් ඒ ඔහු තුළ තිබූ සංවේදිතාවය නිසාමය. දුකට පිහිට වීම, අසරණයන්ට පිහිට වීම, සරණ වීම, බිරිඳට ගෞරව කිරීම, දරුවන්ගේ දරුවන්ට දැඩි ලෙස ආදරය කිරීම ඔහුගේ චරිතයේ කැපී පෙනෙන ලක්ෂණයන් විය. ඔහුගේ මානව දයා ගුණය දුටු එක් සිද්ධියක් මගේ මතකයට එයි. ඒ එක්තරා නළු නිළි ක්‍රිකට් තරගයකදීය මර්වින් තම බිරිඳ සමඟ මෙම අවස්ථාවට සහභාගීව සිටියහ. දිවා භෝජන වේලාවේදී මර්වින්ට කෑම පාර්සල් දෙකක් ලැබිණ. ඔහු තම බිරිඳ සමඟ කෑම පාර්සල් දෙක ලෙහා ගත්තා පමණි. තම මිතුරකුගේ බිරිඳක් හා කුඩා පුංචි පුතා සමඟ සිටිනු ඔහු දුටුුවේය. ඔවුන්ට බත් පාර්සල් ලැබී නොතිබුණි. කුඩා දරුවා මර්වින්ලා කෑම අනුභව කරන දෙස බලා සිටියේ බඩගින්න නිසාය. වේලාව තුනට පමණ ඇති. තමා කෑමට සිටි පාර්සලය කුඩා දරුවාට කතා කොට පරිත්‍යාග කළ මර්වින් තම බිරිඳගේ කෑම පාර්සලයෙන් කටවල් දෙක තුනක් කා ඉතාමත් තෘප්තියකින් නැඟී සිටියේය. ඒ මර්වින්ගේ හැටිය. ඔහු පදවන ජීප් රථය හැමෝගේම වාහනය විය. එය කාටත් ප්‍රයෝජනවත් වන පොදු වාහනයක් විය. ඉහවහා ගිය මානව ගුණාංගවලින් පිරුණු මර්වින් චිත්‍රපට 200 ක පමණ රඟපා 1993 නොවැම්බර් 01 වෙනිදා ජීවිතයෙන් සමු ගත්තේය. ඔහුගේ අභාවයෙන් වසර 25 ක් ගත වී ඇත. ඔහු කලා ලොවට හඳුන්වා දුන් හෙන්රි ජයසේනයන් ලියා මට දුන් කාව්‍ය සංකල්පයකි මේ. මම එය 1993. 11. 18 වෙනිදා 'සරසවිය' පත්‍රයේ පළ කළෙමි. 'යෝධයෙක් . . . දරුවෙක්' නම් ඒ කාව්‍ය සංකල්පනාව මෙසේ යළිත් ඉදිරිපත් කරමින් මේ ලිපිය අවසන් කරමි.
ඒ. ඩී. රන්ජිත් කුමාර